

බහුතරයක් කාන්තාවන් හීන වලට බයයි. ඒ බහුතරය හීන වෙත යන අයට ඊටත් වඩා බයයි... බයට වඩා කුහක කම. ඉරිසියාව . " තමන්ට වඩා කෙනෙක් නැහැ " කියලා හිතන මමායනය. අත්පුඩි ගහන්න බැරි නම්, හිනාවෙලා සුබ පතන්න බැරි නම් ඔබ ඔබේ අසනීපය හඳුනා ගන්න . සතුටින් ඉන්න මොනවද ඕනි දූපත් වැසියනි. සුන්දරත්වය දකින්න ඔබේ සිත සුන්දර වෙන්න ඕනි. " මං ගියානම්... ෂුවර් දිනනවා " මගෙ යෙහෙළිය හැමදාම වගේ අංක එකට. " ඉතිං හැංගිලා ඉන්නෙ .යන්න තිබුණනෙ " මාත් වෙනද වගේම මොලේ කූරුගෑවා. " ඇඟ පෙන්නන්න... මේ කුණු කය ..." " ඉතිං කුණු කය නම් පෙන්නුවම මොකෝ " " නෑ ඉතිං ...මැරිලා යන චුට්ටට නටන නාඩගම්" දේශනාව පටන් ගත්තා . " මැරිලා යන චුට්ටට තමන් ගැන හොයලා බලන්නකො එහෙනම් " මාත් මගෙ දේශනාව පටන්ගත්තා . " මං හොයන්නෙ මංගැන තමයි." " එහෙනම් සාපේක්ෂ කතා ඇයි " " නෑ මං කිව්වෙ ..." ඇය වචන හොයනවා. " මේ පේන ඇහෙන දේවල් විඳලා සතුටින් ඉන්න. බොරුවට රඟපාන්නේ නැතිව " " ජීවිතේ තියෙන්නේ හුස්මක දුර " ඇය මගේ වචන වලින් මටම ගහනවා. " ඒක තමයි . විවේචනය කරනවානම් තමන්ව විවෙිචනය කරගන්න " මාත් අතහැරියෙ නෑ. " අපිව අම්මලා හැදුවෙ ලැජ්ජා බයට " " ඒක හොඳයි. හැබැයි වහල් මානසිකත්වයෙන් මිදෙන්න " " මං බයයි ඉදිරිපත් වෙන්න . මමම වගේ නැති අයව මට පේන්න බෑ " ඇය හෙමින් කිව්වා. " එක වගේ දෙන්නෙක් තියා එක වගේ මයිල්ගස් දෙකක් වත් නැති ලෝකෙක අපි ඉන්නෙ " " මං ලස්සන නැද්ද ? " " හැමෝම ලස්සනයි . ලස්සන එකිනෙකාට සාපේක්ෂයි . හැබැයි රූ රැජනක් වෙන්න ලස්සන විතරක් තිබිලා මදි " " එයා දිනනවට මම කැමති නැහැ වගේ " " ගොඩක් අයට එහෙම වෙනවා. සරලයි. ඒකට කියන්නෙ ඉරිසියාව . මට වඩා කෙනෙක් මේ ලෝකෙ නැහැනෙ " " වෙලාවකට මට මාව එපා වෙනවා " " ගොබ්බ අදහස් වීසිකරලා සරල සෞම්‍ය වෙන්න .සතුටින් ඉන්න තමන් හිස් වෙන්න ඕනි. " " ඔයා කැමතිද අර වගේ දුෂ්කර පලාතක ළමයෙක් අපිව පහුකරන් ගිහින් දුක ගැන කතා නොකර ලෝකයටම ආදර්ශයක් වෙනවට " " විශාකා සෝවාන් වෙලත් දරුමල්ලො , දැසිදස්සො පිරිවරාගෙන ලස්සනට ඇදපැළඳ ජීවිතේ වින්දා. අපි බණ පදයක් අහුල ගත්ත ගමන් තමන් වගේ ලෝකයක් හොයනවා. " " ඒ වුණත් මිනිසුන්ගෙ අවධානය ගන්න දුෂ්කර ගමන් මගක් පෙන්නන්න තිබුණා . " " ඔව් ඉතිං වහල් දූපතේ තැනක් තියෙන්නේ යදින , වඳින අයටනෙ " " ඒත් මෙච්චර අගය කරන්න එයාට මොනාද තියෙන්නේ " " මම කැමතිම ඇයගේ ආත්ම අභිමානයට. විශ්වාසයට. රටක් හැටියට අපට නැතිවෙලා තියෙන්නේ අභිමානය. ඔයා වගේ හිතන අය අතලොස්සක් හිටියට ගොඩාක් අය ඇයව අගය කරනවා .ඇයම කියන විදිහට ගැහැණියක් හැටියට ඇය දිනලා ඉවරයි " " ඔව්. හැමෝම කතා කරන්නෙ නම් ඇය ගැන. ඇය මේ විශ්වයට අයිති ආශ්චර්යයක්ද?." " අපි හැමෝම . අපි කවුරුත් විශ්වයේ ආශිර්වාද ? විශ්වයේ ආශ්චර්යය .තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා. තෘප්තිමත් වෙන්න . අනුන්ව අගය කරන්න පුරුදු වෙන්න . එතකොට හුස්ම ගන්න ලේසියි." " මගෙ හිතේ තමයි ප්‍රශ්නය තියෙන්නේ .මම ඉරිසියයි කියලා මට දැන් පේනවා." " අපේ රටේ මිනිස්සු හීනමානයෙන් පෙලෙනවා. ඒකනෙ හැමෝටම , හැමදේටම, අවමාන කරන්නෙ " " ගැහැණු කියන්නෙ ගැහැණු " " එහෙම නැහැ . දැන් ලෝකෙ වෙනස්." මමත් ගැහැණියක්නෙ. " ඇත්තටම අනුදි ලස්සනයි ." අන්තිමට ඇය කීවා. " අන්නහරි. ඒ වාසනාවට ඉරිසියා කරලා ඔයා ඔයාගෙ හිතමනෙ කිලිටි කරගත්තෙ. අනුන්ගෙ සතුට හරි අනුමෝදම් කරගෙන සතුටින් ඉන්න තරම් කාන්තාව බුද්ධිමත් වෙන්න ඕන. " මාත් කියාගෙන ගියා. " ඔව්. යහපත වැපුරුවාම . අස්වැන්න ලැබෙන්නෙත් යහපතම තමයි. " ඇය මාව වැළඳගත්තා. කඳුළු හරිම හැඟුම්බරයි. ඔබ මුදාහරින හැම සිතුවිල්ලකම වගකීම බාරගන්න ඕනි ඔබමයි. ...ශ්‍රීමතී වල්පොල ...

